Sunday, January 22, 2017

සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 03

නිකමටවත් හිතුනද ගිජුලිහිණියෝ නරක් වෙච්චි මස් කෑවට ඒකෙන් හානියක් වෙන්නෙ නැත්තෙ ඇයි කියල ??

ඕනම ආහාරයක් නරක් වෙන්නෙ ක්ෂුද්‍ර ජීවීන් හින්ද. එයාලට තියෙන්නෙ බහිසෛලීය ජීරණයක්. ඒ කියන්නෙ එයාල ආහාරයක් මතට එන්සයිම ස්‍රාවය කරල ආහාරය ජීරණය කරල ඒ කොටස් අවශෝෂණය කරනව. ඉතිං බැක්ටීරියා අර විදිහට ස්‍රාවය කරන එන්සයිම තමයි ගොඩක් වෙලාවට විෂ වෙන්නෙ. අපි සාමාන්‍යයෙන් කියන්නෙ ආහාර විෂ වීමක් කියල.

අපේ ආමාශයික යුෂය HCl ( හයිඩ්‍රොක්ලෝරික් ) අම්ලය කියල ඔයාල දන්නව ඇතිනෙ. මේක ගොඩක් ප්‍රභල අම්ලයක්. සමහරු නොකා ඉන්නකොට ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙත් මේ HCl හින්ද. ඒකෙන් ආමාශය තුවාල වෙනව. ගිජුලිහිණියන්ගෙ ආමාශයික යුෂය අපිට වඩා දහ ගුණයකින් ප්‍රභලයි. මේ හින්ද කුණු වෙච්ච මස්වල ඉන්න බැක්ටීරියා විනාශ වෙලා යනව. 

හැබැයි මේක විතරක්ම මදි. මොකද ආහාර ආමාශයට යන්නෙ උගුර හරහා. ඉතිං මේ බැක්ටීරියා උගුරෙදි ගුණනය වෙලා විෂ රසායනික නිකුත් කරනව. විෂ රසායනික කියල කිව්වෙ ගොඩක් වෙලාවට එන්සයිම. ඒව බැක්ටීරියාවන්ට වැදගත් උනාට අනිත් අයට විෂ සහිතයි. ඉතිං මේකෙන් බේරෙන්න ක්‍රමයකුත් ගිජුලිහිණියන්ට තියෙනව. ඒ තමයි එයාල ඒ විෂ කෙළින්ම රුධිර සංසරණ පද්ධතියට අවශෝෂණය කරගෙන ප්‍රතිදේහ මගින් විනාශ කරල දාන එක.

Sunday, January 15, 2017

සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 02

බිත්තර දාන එකම ක්ෂීරපායී සතා කවුද කියල පොඩි කාලෙ ඉගෙන ගත්ත මතකද ??
ඒ තාරා හොට ප්ලැටිපස් කියලත් මතක ඇති.
අපිත් ක්ෂීරපායින්. ( Mammals ) ඒ කියන්නෙ කිරි බීල වැඩෙන සත්තු. හැබැයි ක්ෂීරපායින්ගෙන් බිත්තර දාන්නෙ ප්ලැටිපස් විතරයි. ඒ හින්ද එයාල ගොඩක් විශේෂයි. එයාලගෙ තවත් විශේෂයක් තියෙනව. ඒ ගැන දැන් බලමු.


තාරා හොට ප්ලැටිපස්, එහෙමත් නැත්තං ප්ලැටිපස් ගොඩක් දුරට වතුරෙ තමයි ඉන්නෙ. මෙයාට තාරාවෙක්ගෙ වගේ හොටයක් තියෙනව. මෙයා කෑම හොයාගන්න හරි අපූරු ක්‍රමයක් පාවිච්චි කරනව. ඒ තමයි විදුලිය.


මොහොතකට හිතන්න අන්ධ, බීරි, ගඳ සුවඳ දැනෙන්නෙ නැති ක්ෂීරපායී සතෙක් ගැන. එහෙම කෙනෙක්ට අපැහැදිලි වතුරෙ, එක්කෝ වතුර යට මඩ අස්සෙ හැංගිලා ඉන්න ගොදුරක් හොයාගන්න හදන වැඩේ අමාරුයි නේද. හැබැයි ප්ලැටිපස්ලා කියන්නෙ එහෙම කරන කට්ටියක්.

      ඕනම ජිවියෙක්ගෙ පේෂිවල ක්‍රියාකාරිත්වය සිද්ධ වෙන්නෙ විද්‍යුත් ස්ඵන්ධන හේතුවෙන්. නිකං හිතන්න අත පය හොලවනව, බෙල්ල හරවනව වගේ දේවල් ගැන. ඉතිං ඒ විදිහට අපැහැදිලි වතුරෙ හරි මඩ අස්සෙ හරි හැංගිලා ඉන්න සත්තුන්ගෙන් වතුරට විද්‍යුත් ස්ඵන්ධන එකතු වෙනව. වතුර කියන්නෙ ගොඩක් හොඳ විද්‍යුත් සන්නායකයක්. ඒ කියන්නෙ වතුර හරහා ගොඩක් හොඳට විදුලිය ගමන් කරනව. ඒ හින්ද අර විද්‍යුත් ස්ඵන්ධන වතුර හරහ යනව. එව්ව ප්ලැටිපස්ල අල්ල ගන්නව. හැබැයි ඉතිං ජීවීන්ගෙ පේශි ක්‍රියාකාරිත්වයට බලපාන විද්‍යුත් ස්ඵන්ධන ගොඩක් ලොකු ඒව නෙවෙයි. බොහොම පොඩියි. ඒ බොහොම පොඩි විද්‍යුත් ස්ඵන්ධන උනත් මේ ප්ලැටිපස්ලට දැනෙනව.


මේ ස්ඵන්ධන හොයාගන්න රහස් අවිය තමයි ප්ලැටිපස්ලගෙ හොට. අපි කියන්නෙ තාරා හොට කියල. මේ හොට ස්ලේශ්මල ( ඒ කියන්නෙ කෙල, සෙම වගේ ) ශ්‍රාවී ග්‍රන්ථි වලින් ආවරණය වෙලා තමයි තියෙන්නෙ. මේවගෙන් ශ්‍රාවය කරන ස්ලේශ්මලය, අර බොහොම පොඩි විද්‍යුත් ස්ඵන්ධන, ස්නායු සෛල වලට යවනව. ඒ විදිහට තමයි එයාල ගොදුරු හොයාගන්නෙ.


ප්ලැටිපස්ල කියන්නෙ හරියට සංවේදක ( සෙන්සර් ) ගබඩාවක් වගේ. ගණන් බලල තියෙන විදිහට එක ප්ලැටිපස් කෙනෙක් ගත්තහම විද්‍යුත් සංවේදක 40 000 ක් විතර තියෙනවලු. ඒ විතරක් නෙවෙයි එයාලගෙ හොටේ ස්පර්ශ සංවේදක 60 000 ක් විතර තියෙනවලු. මඩ අස්සෙ ඉන්න ගොදුරු හොයාගන්න මෙයාල මේ සංවේදක වර්ග දෙකම එකපාර පාවිච්චි කරනවලු.


මෙයාල පීනනකොට මෙයාලගෙ හොටේ එක පැත්තකින් අනිත් පැත්තට හරව හරවලු පීනන්නෙ. එතකොට අර කිව්ව විද්‍යුත් ස්ඵන්ධක එන්නෙ කොයි පැත්තෙන්ද කියල හොයාගන්න පුළුවන්නෙ.
දැන් ඔයාලට හිතෙනව ඇති අපිටත් මේ වගේ හැකියාවක් තිබ්බනං කියල. බැරිවෙලාවත් අපිට ඒ වගේ හැකියාවක් තිබ්බ කියමුකො. ඒත් ගොඩක් වෙලාවට අල්ලගන්න තරං විද්‍යුත් ස්ඵන්ධන නෑ. ඒ මොකද කිව්වොත් අපි ජීවත් වෙන්නෙ ගොඩබිම. ( වාතයත් එක්ක ) මේ වාතය කියන්නෙ ගොඩක් දුර්වල විද්‍යුත් සන්නායකයක්. ඉතිං පරිණාමයත් එක්ක බොහෝ දුරට අපිට ලැබිල තියෙන්නෙ ඕන දේවල් විතරයි.

Thursday, January 5, 2017

සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 01


ජපාන මුහුදු කැට්ෆිෂ්ල කදිම උපක්‍රමයක් පාවිච්චි කරනව අඳුරු, අපහැදිලි වතුරෙ ඉන්න ගොදුරු අල්ල ගන්න. එහෙම කරන්නෙ pH අගය පාවිච්චි කරල. ජිවත් වෙන ගොදුරක් හොයා ගන්න pH අගය පාවිච්චි කරන වෙන කිසිම මාළුවෙක් ගැන වාර්තාවක් මෙතෙක් නෑ.



මුහුදු පණුවො හුස්ම ගන්නකොට පිටකරන ඒ ඉතා කුඩා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා pH අගයෙ සිද්දවෙන වෙනස්වීම්වලට මේ කැට්ෆිෂ් මාළුවෝ ප්‍රතිචාර දක්වනව. ( ඒක වෙන්නෙ මෙහෙමයි. හුස්ම පිටකරද්දි කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවෙනව. මේ කාබන් ඩයොක්සයිඩ් වතුරෙ දිය උනාම කාබනික අම්ලය හැදෙනව. මේ කාබනික අම්ලය බොහොම අස්ථායී. එයා බලන්නෙම ස්ථායී වෙන්න. ඉතිං එයා එක හයිඩ්‍රජන් කෙනෙක්ව අයින් කරල ස්ථායී වෙනවා. මේ අයින් කරන හයිඩ්‍රජන් නිසා වතුරෙ pH අගය අඩු වෙනව. වෙන විදියකට කියනවනං වතුර ආම්ලික වෙනවා. )

රාත්‍රී කාලයේ ක්‍රියාකාරී මේ මාළු වැඩිපුරම ගැවසෙන්නෙ පණුවො වැඩිපුර ඉන්න තැන්වල. පණුවො හිටියත් නැතත් මේ මාළු pH අගය අඩු තැන්වලට පහර දෙනව.

" මේ මාළු හරියට පීනන pH මීටර වගේ. මෙයාල ලැබ් එකේ තියෙන pH මීටර්වලට සමානයි. " මෙහෙම කියන්නෙ ජපානෙ කාගොෂිමා විශ්ව විද්‍යාලෙ මේ මාළු ගැන පරීක්ෂණ පවත්වන මහාචාර්ය ජෝන් කැප්රියෝ.